අරගලයෙන් පසුව රට තුළ නව ආණ්ඩුවක් බිහි වුවද, ඊට සමාන්තරව විකල්ප විපක්ෂයක් බිහි නොවීම විශාල අඩුවක් බව ප්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. ජනතාව අපේක්ෂා කළ තීරණාත්මක ප්‍රතිසංස්කරණ හෝ පොදු ජාතික පරිකල්පනයන් පිළිබඳ වත්මන් විපක්ෂයට කිසිදු අදහසක් නොමැති බව ද හෙතෙම පෙන්වා දෙයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවැති ‘ජනබලය’ සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී ‘ජන පැතුම් නොබිඳිනු, ජනවරමට වගවනු’ මැයෙන් වූ නව නිවේදනයක් ද ප්‍රකාශයට පත් කෙරිණි.
වත්මන් ආණ්ඩුව පත්කිරීම ජනතාව විසින් සිදුකළ ‘රැඩිකල්’ තෝරාගැනීමක් බව පැවසූ ආචාර්යවරයා, ජාතික ජන බලවේගය (NPP) තවදුරටත් පුළුල් කරමින් ජනතාව සමඟ දේශපාලන බලයක් ගොඩනැඟීම වෙනුවට, මේ වන විට මාලිමාවේ ශක්තිය අඩු වෙමින් ජනතා විමුක්ති පෙරමුණ (JVP) ඉදිරියට එන තත්ත්වයක් පෙනෙන්නට ඇති බව සඳහන් කළේය. වර්තමාන ආණ්ඩුකරණය පහසු නොවන බවත්, බඩු මිල පාලනය වැනි දෛනික අවශ්‍යතා සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව රජයේ මැදිහත්වීම අපේක්ෂා කරන පසුබිමක පවතින රාජ්‍ය යන්ත්‍රණය තුළම ආණ්ඩුවට කටයුතු කිරීමට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. අරගලයෙන් පසු විකල්ප විපක්ෂයක් බිහි නොවීම නිසා ආණ්ඩුව පත් කළ අභිලාෂයන් ඔස්සේම ආණ්ඩුව ගමන් කරවීම හැර වෙනත් විකල්පයක් නැති බව ද ඔහු පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ජනබලය සාමූහිකයේ කපිල කිශාන්ත මහතා කියා සිටියේ, පැරණි දූෂිත බලවේග නැවත බලයට ඒම වැළැක්වීම සහ බහුතර ජනතා අභිලාෂයන් වෙනුවෙන් රජයට සහය දීම තමන්ගේ අරමුණ වුවද, වත්මන් රජය ජනතාවට වගවෙනවා වෙනුවට පෙර ආණ්ඩු මෙන්ම කටයුතු කරන්නේද යන හැඟීමක් සමාජයට දැනෙන්නට පටන්ගෙන ඇති බවයි. විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිලාභ ජනතාවට ගලායෑමේ සැලසුම් සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් කල්මැරීමක් දක්නට ලැබෙන බව ද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
















