රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් විවිධ ක්ෂේත්‍ර ලෝකය සමඟ විවෘත කර, විදේශ ආයෝජන දිරිගැන්විය යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි. පසුගියදා සිදු වූ ස්වාභාවික ව්‍යසන හමුවේ රජය නිසි ලෙස කටයුතු නොකිරීම නිසා විශාල දේපළ හා ජීවිත හානියක් සිදු වූ බවත්, පාලකයන්ගේ වගකීම් විරහිත ප්‍රකාශ සහ දුරදක්නා තීරණ නොගැනීමේ විපාක අද ජනතාව පීඩාවෙන් භුක්ති විඳින බවත් හෙතෙම චෝදනා කරයි.
වෙළෙඳපොළට ඩොලර් ලැබීම නිසා රුපියල තාවකාලිකව ශක්තිමත් වුව ද, මෙලෙස ‘බූස්ටර්ස්’ ලබා දෙමින් දිගින් දිගටම ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. රුපියල අවප්‍රමාණය වීමේ වාසිය ලැබෙන්නේ විදේශ මුදලින් ආදායම් ලබන අයට පමණක් වන අතර, ආනයන මිල ඉහළ යාමෙන් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වේ. ආණ්ඩුව හොරකම නතර කිරීමෙන් පමණක් ප්‍රශ්න විසඳිය හැකි බව පැවසුව ද, ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට නම් විදුලි බලය, ඉඩම් සහ කම්කරු නීති ප්‍රතිසංස්කරණය කළ යුතු බවත්, හොරකම නතර කළ පමණින් විදුලිබල මණ්ඩලයේ පාඩු පියවිය නොහැකි බවත් ඔහු පවසයි.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ධනවත් මවුපියන්ගේ දරුවන්ගෙන් මුදල් අය කර, එම ප්‍රතිපාදන පහසුකම් නැති පාසල් දියුණු කිරීමට යෙදවීම වැනි රැඩිකල් තීරණ රටක් දියුණු කිරීමට අවශ්‍ය බව මන්ත්‍රීවරයා යෝජනා කරයි. ජනතාව පීඩාවෙන් මුදාගැනීමේ සෘජු වගකීම ඇත්තේ ආණ්ඩුවට වන අතර, විපක්ෂයේ කාර්යය වන්නේ වංචා, දූෂණ පෙන්වා දෙමින් ජනතා ප්‍රශ්න කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු කරවීමයි. වත්මන් රජය විපක්ෂයේ සිටියදී මැතිවරණ ඉල්ලා සිටිය ද, බලයට පත් වූ පසු වසර දෙකක් තිස්සේ මැතිවරණ පැවැත්වීමට අපොහොසත් වී ඇති බව පවසන ඔහු, රටේ ඉදිරි ගමන වෙනුවෙන් සජබ වටා රොද බඳින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
















