රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් කිරීම සඳහා රජය විසින් නව වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇත. මින් ඉදිරියට රියදුරු බලපත්‍රයක් අලුත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෛද්‍ය පරීක්ෂණය ලබාගන්නා ස්ථානයෙන්ම බලපත්‍රය ද අලුත් කර ලබාගැනීමේ හැකියාව මහජනතාවට හිමි වේ.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ, නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හරහා විශේෂ QR කේත ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බැවින්, බලපත්‍ර අලුත් කිරීම සඳහා වේරහැර ප්‍රධාන කාර්යාලය වෙත යාමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.
මෙම නව ක්‍රමවේදය යටතේ, වෛද්‍ය වාර්තාව නිසි පරිදි ලැබුණු වහාම අදාළ පුද්ගලයාට නුගේගොඩ ප්‍රදේශයෙන්ම අලුත් කළ රියදුරු බලපත්‍රය සෘජුවම ලබාගැනීමට හැකියාව පවතී. ජනතාව මුහුණ දෙන දැඩි තදබදය සහ කාලය නාස්ති වීම වැළැක්වීම අරමුණු කරගනිමින් ආරම්භ කරන ලද මෙම කඩිනම් QR කේත සේවා පද්ධතිය, ඉදිරියේදී දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට රජය අපේක්ෂා කරයි.
















