කුවේට් රාජ්‍යයේ ගෘහ සේවක අංශය නියාමනය කිරීම සඳහා එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නව නීති මාලාවක් හඳුන්වා දී ඇති අතර, ඒ අනුව ගෘහ සේවකයන් ගෙන්වීම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පමණක් සීමා කර තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මිනිස්බල සඳහා වන මහජන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිර්දේශ මත මෙම පියවර ගෙන ඇත.
මෙම නව චක්‍රලේඛයට අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය, නේපාලය, දකුණු අප්‍රිකාව, බෙනින් සහ එරිට්‍රියාව යන රටවලට කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ නියුක්ත වීමට අවසර හිමිවේ. සෙනගාලය රටෙන් පිරිමි සේවකයන් බඳවා ගැනීමට පමණක් අවසර දී ඇති අතර ඉතියෝපියාව ද මෙම ලැයිස්තුවට අයත් වේ.
මීට අමතරව මැඩගස්කරය, භූතානය, කෙන්යාව, උගන්ඩාව, නයිජීරියාව, ටෝගෝ, මලාවි, චැඩ්, ජිබුටි, නයිජර්, ගිනියාව, ගිනියා-බිසාවු, කාබෝ වර්ඩ්, සියෙරා ලියොන්, ලයිබීරියාව, මාලි, බුර්කිනා ෆාසෝ, ගැම්බියාව, කැමරූන්, සමක ගිනියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝ ජනරජය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, රුවන්ඩාව, බුරුන්ඩි සහ ඇන්ගෝලාව යන රටවල් ඇතුළු රටවල් 27කින් ගෘහ සේවිකාවන් බඳවා ගැනීම තහනම් කර ඇත. කෙසේ වෙතත් මෙම රටවල් කිහිපයකින් පිරිමි සේවකයන් ගෙන්වීමට තවදුරටත් අවසර පවතී.
















