පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් විසින් අන්වර්ථ නාම පහක් (05) භාවිතා කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. එම නම් පිටුපස සිටින සැබෑ පුද්ගලයින් කවුරුන්ද යන්න නොබෝ දිනකින් රටටම හෙළිදරව් කරන බව ඔහු සිරස රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේය.
මෙම අන්වර්ථ නාම අතරින් මීට පෙර පාර්ලිමේන්තුවේදී ද සාකච්ඡාවට ලක් වූ “සොනික්” යන නාමය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළේය. සෙසු අන්වර්ථ නාම හතර පිළිබඳ තොරතුරු විමර්ශන කණ්ඩායම් සතුව පවතින බවත්, විමර්ශන කටයුතු වලට බාධාවක් නොවන පරිදි ඉදිරියේදී ඒ පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරන බවත් ඔහු පැවසීය.
මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දුව පරිදි පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයා ගැනීමේ විධිමත් විමර්ශන ක්‍රියාවලියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යවරයා අවධාරණය කළේය. වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම රජයේ ප්‍රමුඛතම අපේක්ෂාව බව පැවසූ ඔහු, විපක්ෂයෙන් එල්ල වන විවිධ බාධක මධ්‍යයේ වුවද, ස්වාධීන ආයතන හරහා මෙම පරීක්ෂණ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවට සහතික විය.
නව විමර්ශන තොරතුරු සහ බුද්ධි වාර්තා මත පදනම්ව, අදාළ අන්වර්ථ නාමවලින් පෙනී සිටි පුද්ගලයින් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















