ශ්‍රී ලංකාව වියට්නාම සංචාරකයින් සඳහා ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘ශ්‍රී ලංකාවේ සංචාරක විභවයන් විවෘත කිරීම’ (Unlocking Sri Lanka’s Tourism Potential) තේමාව යටතේ වියට්නාමයේ හෝ චී මිං නගරයේදී විශේෂ වැඩසටහනක් පැවැත්විණි. වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ VJSC Co., Ltd. ආයතනය එක්ව සංවිධානය කළ මෙම උත්සවය දෙරට අතර සංචාරක සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත් පියවරකි.
මෙම වැඩසටහනේ වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වන්නේ කොළඹ සහ හෝ චී මිං නගරය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමයි. ඒ අනුව VietJet Air ගුවන් සේවය අගෝස්තු 18 වැනිදා සිට සිය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත අතර, Vietnam Airlines ආයතනය ද මෙම වසරේ අග භාගයේදී සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි.
උත්සවයේදී වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති පෝෂිත පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සහ සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබඳව සවිස්තරාත්මක කරුණු දැක්වීමක් සිදු කළේය. එසේම, හෝ චී මිං නගරයේ ප්‍රමුඛ පෙළේ සංචාරක සමාගම් 60කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි වූ අතර, ශ්‍රී ලාංකීය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතන ද ඊට එක්ව සිටියහ.
වියට්නාම වෙළෙඳපොළ ඉලක්ක කරගත් සංචාරක පැකේජ හඳුන්වා දීම සහ සංචාරක බ්ලොග්කරුවන් සමඟ සිදුකළ සාකච්ඡා හරහා ශ්‍රී ලංකාව පිළිබඳව වියට්නාම සංචාරකයින් තුළ පවතින දැඩි උනන්දුව මෙහිදී තවදුරටත් තහවුරු විය.
















