සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම සහ කලාපීය ජල සීමාවන්හි ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව එක්ව ක්‍රියාත්මක කරන ‘දිසි රැල’ (Operation Disi Rela) ඒකාබද්ධ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුමේ තෙවන අදියර පසුගිය සඳුදා (
කොළඹදී නිල වශයෙන් ආරම්භ විය.
මෙම මෙහෙයුම ජූනි 17 වැනිදා දක්වා පැවැත්වෙන අතර, කොළඹ, ත්‍රිකුණාමලය, වලච්චේන, මඩකලපුව සහ මිරිස්ස යන ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් මෙහිදී අධි ක්‍රියාකාරී සියලු භූමි සඳහා යෝග්‍ය රථ (ATVs) පහක් සහ දුරස්ථ පරාසයක ක්‍රියාත්මක කළ හැකි ඩ්‍රෝන යානා 12ක් පරිත්‍යාග කර තිබේ. මෙම උපකරණ මගින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ සහ අවට ජල සීමාවේ සිදුවන නීති විරෝධී ක්‍රියා හඳුනා ගැනීමට සහ ඒවාට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට වෙරළාරක්ෂක බලකායට හැකියාව ලැබෙනු ඇත.
“සමුද්‍රීය පරිසරය කෙරෙහි විමසිලිමත් දෑසින් බැලීම” යන අරුත දෙන ‘දිසි රැල’ මෙහෙයුම මගින් නීති විරෝධී සමුද්‍රීය ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා දෙරටේම පවතින කැපවීම විදහා දක්වයි. මනුෂ්‍ය ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ධීවර කටයුතු වැනි දේශසීමා හරහා සිදුවන සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම, බුද්ධි තොරතුරු හුවමාරුව දියුණු කිරීම සහ වෙරළබඩ ප්‍රජාවන් සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම මෙම මෙහෙයුමේ මූලික අරමුණු වේ.
මේ අතර, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sharda’ නම් නිරීක්ෂණ නෞකාව ඊයේ (10) කොළඹ වරායට පැමිණියේය. ජූනි 13 වැනිදා දක්වා කොළඹ රැඳී සිටින මෙම නෞකාව, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය උපකරණ තොගයක් ඉන්දීය හමුදාවෙන් ලබාගැනීම සඳහා පැමිණ ඇත. මෙම භාණ්ඩ නිල වශයෙන් භාරදීමේ උත්සවය ජූනි 16 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.
















