ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ එහි ක්‍රියාකාරිත්වය කඩිනම් කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡා කළේය. ප්‍රධාන නාගරික සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හරහා ලෝක උරුම නගරයක් වන ගාල්ල, ප්‍රමුඛ පෙළේ සංස්කෘතික සහ සංචාරක මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීම මෙහි අරමුණයි.
මෙම සාකච්ඡාවේදී නගර මධ්‍යයේ දැනට පවතින පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය, බන්ධනාගාරය සහ හෙද පුහුණු පාසල වැනි ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක් වෙනත් ස්ථානවලට මාරු කිරීම සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. එමගින් නගර මධ්‍යයේ ඇති ඉඩකඩ ප්‍රයෝජනයට ගනිමින් නව සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ අරමුදල් සපයා ගැනීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
ගාල්ල කොටුව සහ ඒ අවට වෙරළ තීරය එහි උරුම වටිනාකම ආරක්ෂා කරමින් ප්‍රමුඛ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මහජනතාවට පහසුවෙන් සේවාවන් ලබාගත හැකි පරිදි ගාල්ලේ සියලුම රාජ්‍ය කාර්යාල සඳහා මධ්‍යම පරිපාලන සංකීර්ණයක් ස්ථාපිත කිරීම, ගාල්ල නගරය කේන්ද්‍ර කරගත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ දැනට පවතින සෞන්දර්ය අධ්‍යයන පාසල සංවර්ධනය කිරීමේ යෝජනා ද සාකච්ඡාවට ලක් කෙරිණි.
නාගරික සැලසුම්කරණය, රාජ්‍ය ආයතන ස්ථානගත කිරීම, ගොඩනැගිලි හා මාර්ග ඉදිකිරීම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයේදී සියලුම රජයේ ආයතන අතර සමීප සම්බන්ධීකරණයක් පැවතීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. මෙම සංවර්ධන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ විශාල වගකීමක් නාගරික සංවර්ධන අධිකාරිය සතු බවද ඔහු පෙන්වා දුන්නේය.
















