දේශීය ආදායම් (සංශෝධන) පනත අංක 11, 2026 පාර්ලිමේන්තුවේ සම්මත වීමත් සමඟ භාරකාර අරමුදල් (Trusts), ඒකක භාර අරමුදල් (Unit Trusts), අන්‍යෝන්‍ය අරමුදල් (Mutual Funds) සහ රාජ්‍ය නොවන සංවිධාන මත පනවා ඇති ප්‍රාග්ධන ලාභ බදු (CGT) අනුපාතිකය 10% සිට 30% දක්වා ඉහළ ගොස් ඇත. KPMG ආයතනයේ නවතම බදු වාර්තාවට අනුව, මෙම සංශෝධනය පනත බලාත්මක වූ දින සිටම ක්‍රියාත්මක වේ.
පුද්ගලයන් සහ හවුල් ව්‍යාපාර සඳහා වන ප්‍රාග්ධන ලාභ බදු අනුපාතිකය ද 10% සිට 15% දක්වා ඉහළ නංවා ඇත. ප්‍රාග්ධන ලාභ බදු යනු දේපළක් හෝ වත්කමක් විකිණීමේදී හෝ බැහැර කිරීමේදී ලැබෙන ලාභය මත අය කරන බද්දකි. අදාළ ආයතන විසින් මෙම බදු ගෙවීම සහ බදු වාර්තා ගොනු කිරීම වත්කම බැහැර කළ මාසය අවසන් වී දින 30ක් ඇතුළත සිදු කළ යුතුය.
මීට අමතරව, ආදායම් බදු සහ රඳවා ගැනීමේ බදු (WHT) පරාසය ද පුළුල් කර ඇත. ඒ අනුව, පෞද්ගලික පුහුණුකරුවන්, කලාකරුවන්, නළු නිළියන්, ගායක ගායිකාවන්, ඡායාරූප ශිල්පීන්, වෘත්තීය උපදේශකයන්, විදුලි කාර්මිකයන්, දන්ත වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන්, සමාජ මාධ්‍ය විශේෂඥයන්, පරිවර්තකයන් සහ ලේඛකයන් ඇතුළු වෘත්තිකයන් රැසක් මෙම නව බදු ගණනය කිරීම්වලට යටත් වේ.
බදු රඳවා ගැනීමේ නියෝජිතයන් විසින් අදාළ බදු මුදල් කපා හරින අවස්ථාවේදී අදාළ පාර්ශවයට ඒ බව තහවුරු කරන සහතිකයක් ලබා දීම අනිවාර්ය වේ. මෙම සහතිකය බදු ගෙවන්නාට තම අවසාන බදු වගකීමෙන් සහනයක් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. බදු රඳවා ගැනීමේ අවශ්‍යතා උල්ලංඝනය කිරීම, අසත්‍ය හෝ නොමඟ යවන සුළු ප්‍රකාශ ඉදිරිපත් කිරීම වැනි අවස්ථාවලදී නියෝජිතයන් වෙත වසරකට රුපියල් 200,000ක් දක්වා දඩ මුදල් පැනවීමට ද පනත මගින් ප්‍රතිපාදන සලසා ඇත.
















