මහ බැංකුව විසින් අපනයන ආදායම් මෙරට මුදල්වලට පරිවර්තනය කිරීමේ නීති දැඩි කිරීමත් සමඟ ඊයේ (10) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල කැපී පෙනෙන ලෙස අගය ඉහළ යාමක් වාර්තා කළේය.
මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.38 සිට රුපියල් 324.66 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් මිල රුපියල් 342.08 සිට රුපියල් 335.39 දක්වා පහත වැටුණි.
මෙම තත්ත්වයට මූලික හේතුව වූයේ පසුගිය අඟහරුවාදා (9) මහ බැංකුව විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයයි. එමගින් අපනයනකරුවන්ට තම විදේශ ඉපැයීම් දේශීය මුදල්වලට පරිවර්තනය කිරීම සඳහා තිබූ මාස තුනක කාලසීමාව මාසයක කාලයක් දක්වා කෙටි කිරීමට පියවර ගැණිනි. නව රෙගුලාසිවලට අනුව, සියලුම භාණ්ඩ අපනයනකරුවන් තම ඉපැයීම් මෙරටට ගෙනවිත්, අවසර ලත් ගෙවීම් අඩු කිරීමෙන් පසු ඉතිරි ශේෂය ඊළඟ මාසයේ 10 වැනි දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම අනිවාර්ය වේ.
මෙම පියවර මගින් දේශීය වෙළඳපොළ තුළ විදේශ විනිමය ද්‍රවශීලතාවය වැඩි කිරීම සහ රුපියල ස්ථාවර කිරීම මහ බැංකුවේ අපේක්ෂාවයි.
















