කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නාවික සහ ධීවර ප්‍රජාව සඳහා අලුත්ම අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවලට මීළඟ දැනුම් දීමක් සිදු කරන තුරු යාත්‍රා නොකරන ලෙස ඔවුන් දැනුම් දෙයි.
කළුතර සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සුළං නිරිත දෙසින් හමා එන අතර සුළං වේගය පැයට කිලෝමීටර් 30-40ක් පමණ වේ. කෙසේ වෙතත්, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70ක් දක්වා වැඩි විය හැක.
එසේම, ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60ක් දක්වා වැඩි විය හැකි අතර එම ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගනු ඇත. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විය හැක.
මන්නාරමේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0-2.5ක් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවද ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවයි.
















