ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඊයේ (10) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මෙරට වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය, විනිමය අනුපාතික ප්‍රතිපත්තිය සහ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් පවත්වන ලදී. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසියේදී, ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිළිබඳව මන්ත්‍රීවරුන් වෙත කරුණු පැහැදිලි කෙරිණි.
ශ්‍රී ලංකා ආර්ථිකය 2023 තෙවන කාර්තුවේ සිට ධනාත්මක වර්ධන ගමන් පථයක් පවත්වා ගැනීමට සමත් වී ඇති අතර, 2024 සහ 2025 වසරවලදී ආර්ථිකය ආසන්න වශයෙන් 5%ක වර්ධනයක් වාර්තා කර ඇත. මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා මෑත කාලයේදී උද්ධමනය යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා 2026 මැයි මාසයේදී මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) පදනම් අංක 100කින් ඉහළ නංවන ලදී.
ඉන්ධන සහ වාහන ආනයන වියදම ඉහළ යාම, සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන විදේශ විනිමය ආදායම අපේක්ෂිත මට්ටමට වඩා අඩු වීම සහ අපනයනකරුවන් තම ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීම ප්‍රමාද කිරීම රුපියල මත පීඩනයක් ඇති කර ඇත. රාජ්‍ය මූල්‍ය විනය වැඩිදියුණු වීමත් සමඟ රජයේ සහ රාජ්‍ය සංස්ථාවල ණය ආපසු ගෙවීම් වාර්තා වන අතර, පෞද්ගලික අංශයේ ණය වර්ධනය දේශීය ණය ව්‍යාප්තිය සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇත. බදු ප්‍රතිසංස්කරණ සහ වියදම් තාර්කීකකරණය හේතුවෙන් රාජ්‍ය මූල්‍ය ශේෂයන් ශක්තිමත් වී ඇති අතර, අයවැය හිඟය අඩු කිරීමට එය මහත් පිටුවහලක් වී ඇත.
මෙම සැසියේදී ඉදිරිපත් කරන ලද සම්පූර්ණ ඉදිරිපත් කිරීම මෙතැනින් නැරඹිය හැකිය.
















