ශ්‍රී ලංකාවේ අවුරුදු 5ට අඩු දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වය වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ ඌව පළාතෙන් බව බදුල්ල ශික්ෂණ රෝහලේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය වාසනා මාරසිංහ මහත්මිය පවසයි.
ඊයේ (10) පැවති පෝෂණයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වෛද්‍යවරිය මේ බව අනාවරණය කළාය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ මන්දපෝෂණයට අමතරව ඌව පළාත තුළ අධිපෝෂණය හෙවත් දරුවන්ගේ බර අනවශ්‍ය ලෙස වැඩිවීමේ ගැටලුව ද බහුලව දක්නට ලැබෙන බවයි.
මෙම අසමතුලිත පෝෂණ තත්ත්වයන්ට ප්‍රධානතම හේතුව ලෙස වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ ජනතාවගේ පෝෂණය පිළිබඳ ඇති දැනුමේ මඳකමයි. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් සහ දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය පෝෂණ ගුණයන් පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම මෙම ගැටලුවලට මූලිකව බලපා ඇති බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
















