එල් නිනෝ (El Niño) කාලගුණික තත්ත්වය හේතුවෙන් වැවිලි කර්මාන්තයට සහ වැවිලි ප්‍රජාවට ඇතිවිය හැකි බලපෑම් අවම කරමින් ජාතික නිෂ්පාදන ඉලක්ක ආරක්ෂා කර ගැනීම සඳහා කල්තියා සූදානම් වීමේ අවශ්‍යතාව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදීය. මෙහිදී දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂඥ ආචාර්ය රන්ජිත් පුණ්‍යවර්ධන මහතා විසින් එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වැසි රටාවන්, උෂ්ණත්වය සහ ජල සම්පත් කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී.
සාකච්ඡාවේදී අහිතකර බලපෑම් හමුවේ වැවිලි ප්‍රජාවේ ජීවනෝපාය ආරක්ෂා කිරීම සහ ජාතික ආර්ථිකයට දායක වන වැවිලි නිෂ්පාදන අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරිණි. පසුගිය වසරවල තේ සහ පොල් වගාවන් සඳහා හඳුන්වා දී ඇති දේශගුණික අවදානම් කළමනාකරණ නිර්දේශ නැවත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී මතු විය. පාංශු හා ජල සංරක්ෂණය, ක්ෂුද්‍ර වාරිමාර්ග (Micro Irrigation) තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම සහ විකල්ප සත්ත්ව පාලන කටයුතු සංවර්ධනය කිරීම ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ධාරිතාව ඉහළ නැංවීම සහ ගොවීන් වෙත කාලගුණික තොරතුරු කඩිනමින් ලබා දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද සාකච්ඡා විය. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක දැනුම භාවිත කරමින් දේශගුණික අවදානම්වලට ඔරොත්තු දෙන වැවිලි කර්මාන්තයක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ලක්මිනි ප්‍රියන්තා මහත්මිය, තේ, පොල් සහ රබර් පර්යේෂණ ආයතනවල සභාපතිවරුන් සහ අමාත්‍යාංශයට අනුබද්ධිත වැවිලි සමාගම්වල නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී විය.
















