දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම පිළිබඳව අධ්‍යයනය කිරීමට සහ ඒ සම්බන්ධ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පත් කළ විශේෂ කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය සැප්තැම්බර් 19 දින දක්වා දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (11) හිමි විය.
මීට පෙර ජනවාරි 21 දින පාර්ලිමේන්තුව විසින් ගත් තීරණයකට අනුව, මෙම කාරක සභාවේ පළමු රැස්වීමේ සිට මාස තුනක් ඇතුළත වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, එම කාලසීමාව මෙම මස 19 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණි.
දිට්වා සුළි කුණාටු සිදුවීම සම්බන්ධයෙන් ඉතා පුළුල් සහ පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත. විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලද කරුණු සහ ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා සහ නිර්දේශ ශ්‍රී ලංකාවේ අනාගත ආපදා කළමනාකරණ උපායමාර්ගවලට අතිශය තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















