කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම නිවේදනයකට අනුව, දිවයින අවට මුහුදු ප්‍රදේශවල පවතින රළු ස්වභාවය හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අවධානයක් යොමු කරන ලෙස දැනුම් දී තිබේ.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි අතර, මෙම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු මෙම මුහුදු තීරයේ යාත්‍රා නොකරන ලෙස ධීවරයින්ට සහ නාවිකයින්ට දැඩිව උපදෙස් දී ඇත.
මුලතිව් සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50-60ක් පමණ වේ. එම ප්‍රදේශ ද විටින් විට රළු විය හැක. තවද මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 – 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂක පියවරයන් අනුගමනය කරන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
















