ගජමුතු දෙකක් සමඟ බදුල්ල, හාලිඇල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ලබන ජූනි 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
උඩුවර විශේෂ බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත, පසුගිය ජූනි 09 වන දින හාලිඇල – බණ්ඩාරවෙල මාර්ගයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස හාලිඇල, අන්තුඩාවෙල සහ පතනවත්ත යන ප්‍රදේශවල පදිංචි 31, 30 සහ 26 යන වයස්වල පසුවන්නන් වේ.
සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් මිලිග්‍රෑම් 5,900ක් බරැති ගජමුතු කැබලි දෙක සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අතර, ඒවායේ නිවැරදිභාවය සහ සත්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා දෙහිවල සත්ව උද්‍යානය වෙතින් විශේෂ වාර්තාවක් කැඳවීමට හාලිඇල පොලිසිය පියවර ගෙන ඇත. හාලිඇල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
















