පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා හතරකට වරද පිළිගැනීමෙන් අනතුරුව, ‘බැරිස්ටා කොෆී ලංකා’ (Barista Coffee Lanka Pvt Ltd) ආයතනයට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 400,000ක දඩ මුදලක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ (CAA) බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය විසින් සිදුකළ වැටලීමකදී අනාවරණය වූ බරපතල වැරදි කිහිපයක් පදනම් කරගනිමින් මෙම නඩුව ගොනු කර ඇත.
අදාළ ආයතනය විසින් මිල, බර, නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය වැනි අනිවාර්ය තොරතුරු ඇතුළත් ලේබල් නොමැතිව කේක් සහ බිස්කට් පැකට් අලෙවි කර ඇති අතර කල් ඉකුත් වූ බිස්කට් පැකට් අලෙවිය සඳහා තබාගෙන තිබේ. මීට අමතරව ආහාර සහ පාන වර්ග පිළියෙළ කිරීම සඳහා කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ශීතකරණවල සහ ගබඩාවල තබාගැනීම මගින් පාරිභෝගිකයින් නොමග යවා ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
පාරිභෝගිකයන් නොමග යවන සුළු මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් පාරිභෝගිකයින් ඉතා අවදියෙන් පසුවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි. ඕනෑම ආයතනයකින් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ලේබල්, මිල සහ කල් ඉකුත්වීමේ දිනයන් පරීක්ෂා කරන ලෙසත්, පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංක 1977 වෙත වාර්තා කරන ලෙසත් ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















