ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 114 වන සැසිවාරය අමතමින් කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, මෙරට සේවයේ නියුතු ජනගහනයෙන් 22.8%ක් මේ වන විටත් උත්පාදක කෘතිම බුද්ධියට (Generative AI) නිරාවරණය වී ඇති බවයි. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) විසින් සිදුකළ පර්යේෂණයකින් මෙම දත්ත අනාවරණය වී තිබේ.
අමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි, මෙම බලපෑම වැඩි වශයෙන්ම එල්ල වී ඇත්තේ සාම්ප්‍රදායිකව සුරක්ෂිත යැයි සැලකෙන කාර්යාලීය රැකියාවලටය. කෙසේ වෙතත්, කෘෂිකර්මාන්තය සහ අත්කම් නිර්මාණ වැනි අවිධිමත් අංශ සඳහා මෙහි බලපෑම අවම බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෘතිම බුද්ධිය යනු මිනිස් ශ්‍රමය අහිමි කරන බලවේගයක් ලෙස නොව, ඵලදායිතාව සහ වටිනාකම් වැඩි කරන ‘උත්ප්‍රේරකයක්’ ලෙස ශ්‍රී ලංකාව දකින බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ උපායමාර්ගය වැළඳ ගැනීම (Adoption), අනුකූල වීම (Adaptation) සහ වේගවත් කිරීම (Acceleration) යන මූලධර්ම මත පදනම් වේ. ජනාධිපති අනුර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ‘පළමුව AI’ (AI-first) යන මානසිකත්වය ඇති කරමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පුළුල් කිරීමට පැහැදිලි මාර්ග සිතියමක් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව ඔහු පැවසීය.
තාක්ෂණික දියුණුවත් සමඟම සමාජ සාධාරණත්වය සහ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව නිරන්තරයෙන් කැපවී සිටින බව අමාත්‍යවරයා පැවසීය. එහි ප්‍රධාන පියවරක් ලෙස රැකියා ස්ථානවල සිදුවන ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම්වලට එරෙහි ILO සම්මුතිය (C190) 2026 මැයි මාසයේදී අපරානුමත කර ඇති බවත්, ධීවර ක්ෂේත්‍රය වෙනුවෙන් අංක 188 සම්මුතිය අපරානුමත කිරීමට සාකච්ඡා පවත්වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යන ශ්‍රී ලංකාව, රටවල් අතර පවතින ඩිජිටල් සහ AI පරතරය නැති කිරීමට කැපවන බවත්, නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සාධාරණ වටිනාකමක් සහ වැටුපක් සහතික කරන ඕනෑම ගෝලීය සහයෝගීතාවයක් සතුටින් පිළිගන්නා බවත් අමාත්‍යවරයා සිය දේශනයේදී වැඩිදුරටත් සඳහන් කළේය.
















