ආහාර පිළියෙල කිරීමේදී සහ පරිභෝජනයේදී ප්‍රමිතිකරණයක් නොමැති ප්ලාස්ටික් මෙවලම් භාවිත කිරීම නිසා හෘදරෝග, පිළිකා සහ හෝමෝන අසමතුලිතතා ඇතුළු බරපතල සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පරිසර, වෘත්තීය සහ ආහාර ආරක්ෂණ අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය මේ පිළිබඳව කරුණු පැහැදිලි කළාය.
ප්ලාස්ටික් සහ පොලිතීන් මගින් ආහාර පාන වෙත නිකුත් වන ‘මයික්‍රෝ ප්ලාස්ටික්’ නම් සියුම් අංශු සහ BPA වැනි විෂ රසායනික ද්‍රව්‍ය ශරීරයට ඇතුළු වීමෙන් මෙම රෝගී තත්ත්වයන් හට ගනී. විශේෂයෙන් උණුසුම් ආහාර හෝ පාන වර්ග ප්ලාස්ටික් භාජනවල හෝ පොලිතීන් ආවරණවල තැන්පත් කිරීමේදී මෙම විෂ ද්‍රව්‍ය ඉතා පහසුවෙන් ආහාරවලට මුසු වේ.
මෙම විෂ ද්‍රව්‍ය දීර්ඝකාලීනව රුධිර නාල හරහා ගමන් කර මොළය, වකුගඩු සහ අක්මාව වැනි අභ්‍යන්තර අවයවවල තැන්පත් වීමෙන් එම අවයව අකර්මණ්‍ය වීම, රුධිර වාහිනී අවහිර වීම, හෘදයාබාධ, මඳ සරුභාවය සහ විවිධ පිළිකා වර්ග ඇති වීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරිය පෙන්වා දෙයි.
මෙම අවදානමෙන් වැළකී සිටීම සඳහා ආහාර පිළියෙල කිරීමේදී සහ ගබඩා කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍ය භාවිතා කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ අනුව ආහාර පිසීමේදී සහ පරිභෝජනය කිරීමේදී මැටි භාජන, ලෝහ භාජන, වීදුරු භාජන සහ සෙරමික් (පිඟන් මැටි) භාජන භාවිතය වඩාත් සුදුසු බවත්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා ආහාර ආරක්ෂිතතාවයට ප්‍රමුඛත්වය ලබාදෙමින් ප්ලාස්ටික් භාවිතය අවම කරන ලෙසත් අමාත්‍යාංශය සිහිපත් කරයි.
















