අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ පසු වෙමින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා දිනපතා බැලීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ සහ නීතිඥවරයා විසින් CID අධ්යක්ෂ ශානි අබේසේකර මහතා වෙත ලිපි දෙකක් යොමු කර තිබේ.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවලට ලක්වෙමින් සිටින සුරේෂ් සලේ මහතා දැනට රෝගී තත්ත්වයෙන් පසු වන අතර, ඔහු මේ වන විට මාරාන්තික උපවාසයක ද නිරත වන බව වාර්තා වේ.
බිරිඳ විසින් සිය ස්වාමිපුරුෂයා දිනපතා බැලීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර, නීතිඥ අසිත් සිරිවර්ධන මහතා පෙන්වා දෙන්නේ සිය සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කර අධිකරණයට වාර්තා කිරීමේ වෘත්තීය වගකීමක් සහ අයිතිවාසිකම් සුරැකීමේ අවශ්‍යතාවයක් තමන්ට පවතින බැවින් දිනපතා ඔහුව හමුවීමට අවසර ලබාදෙන ලෙසයි.
මීට පෙර කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම ඉල්ලීම අධිකරණය හමුවේදී ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ, සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ රැඳවුම් භාරයේ ප්‍රතිකාර ලබන බැවින් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමිනි.
මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සාධාරණව සිදු කරන ලෙස ඉල්ලා කටුවපිටිය දේවස්ථානයේ ප්‍රහාරයෙන් වින්දිතයන් පිරිසක් අද (11) මීගමුව – කොළඹ මාර්ගයේදී නිහඬ විරෝධතාවයක නිරත විය.
















