එළඹෙන එල් නිනෝ (El Niño) දේශගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් සහ එම අභියෝග කළමනාකරණය කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ලංකා විදුලි පුද්ගලික සමාගම සහ ජාතික පද්ධති ක්‍රියාකරු යන ආයතනවල නියෝජිතයින් එක්ව සිටියහ.
එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය සැපයුම සහ බලශක්ති අංශ කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් විමසා බැලුණි. 2016-2017 වසරවල පැවති දේශගුණික තත්ත්වයන්ට සමාන තත්ත්වයක් මෙවර ද අපේක්ෂා කළ හැකි බව හඳුනාගෙන ඇති අතර, ඒ අනුව මේ වන විටත් ජල කළමනාකරණ සැලසුම් සකස් කර තිබේ. විශේෂයෙන් කෘෂිකාර්මික අවදානම් අවම කිරීම සඳහා යල කන්නයේ වගා කටයුතු සති 6කට පෙර ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
අඛණ්ඩ විදුලි සැපයුම, ආහාර සුරක්ෂිතතාව සුරැකීම සහ කෘෂිකර්මාන්තයට මෙන්ම පානීය ජල අවශ්‍යතාවයට ප්‍රමාණවත් ජල සැපයුමක් සහතික කිරීම සඳහා කඩිනම් සැලසුම් සකස් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ‘දිට්වා’ සුළි කුණාටුව සහ මැදපෙරදිග අර්බුදය හමුවේ පැන නැගුණු අභියෝග නිසි සැලසුම්කරණයෙන් කළමනාකරණය කර ගත්තාක් මෙන්ම, මෙම ගෝලීය දේශගුණික අභියෝගය ද නිසි සැලසුම් මගින් සාර්ථකව කළමනාකරණය කරගත හැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති ලේකම් වෛද්‍ය නන්දික සනත් කුමාරනායක, ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහත්වරුන් සහ ප්‍රධාන ආයතනවල ප්‍රධානීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
















