හම්බන්තොට, මිරිජ්ජවිල, අඩි 100 පාර ප්රදේශයේ පිහිටි “ලීලා ස්ටෝස්” වෙළෙඳසැලේ හිමිකාරිය වන 72 හැවිරිදි තිදරු මවක් අද (11) උදෑසන නාඳුනන පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් ඝාතනයට ලක්ව තිබේ.
අද උදෑසන 06ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව ප්රදේශවාසීන් සහ පොලීසිය විසින් වහාම හම්බන්තොට රෝහලට ඇතුළත් කළ ද, ඇය එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත.
පහරදීම සිදුවන අවස්ථාවේදී අසල සිටි පුද්ගලයෙකුට කඩය තුළින් විශාල කෑගැසීමේ ශබ්දයක් ඇසී එම ස්ථානය පරීක්ෂා කිරීමට යාමේදී, සැකකරු කඩය තුළින් වහාම පිටව පළා යන අයුරු දැක තිබේ.
හම්බන්තොට වරාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සැකකරු හඳුනා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබේ. මූලික මහේස්ත්රාත් පරීක්ෂණ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත.
















