ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් අරමුණු කරගනිමින් සකස් කළ ‘ජාතික අපනයන සංවර්ධන සැලැස්ම’ (NEDP) ලබන ජූනි 16 වන දින කොළඹදී නිල වශයෙන් එළිදැක්වීමට නියමිතය. රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” දැක්මට සමගාමීව, 2030 වසර වන විට මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 36ක් දක්වා ඉහළ නැංවීම මෙහි මූලික අරමුණයි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහාය ඇතිව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙම සැලැස්ම සකස් කර ඇත.
මෙම සැලැස්ම ප්‍රධාන කුළුණු දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වේ. පළමුව, තිරස් අංශ (Horizontals) මගින් වෙළඳ පහසුකම් සැලසීම, මූල්‍ය හා ආයෝජන පරිසරය සංවර්ධනය, වෙළඳ ප්‍රවර්ධනය, යටිතල පහසුකම් සහ ESG අනුකූලතාව වැනි ක්ෂේත්‍ර ඔස්සේ සමස්ත අපනයන ක්ෂේත්‍රයටම අවශ්‍ය මූලික පදනම සකසයි. දෙවනුව, ප්‍රමුඛතා අංශ (Verticals) ඔස්සේ අපනයන විවිධාංගීකරණය සඳහා මෝටර් රථ උපාංග, ඛනිජ පදනම් කරගත් කර්මාන්ත, රබර් ආශ්‍රිත කර්මාන්ත, සමුද්‍රීය කර්මාන්ත, කුළුබඩු සහ සාන්ද්‍රණයන්, ඩිජිටල් නිෂ්පාදන සහ සේවා, විදුලි හා විද්‍යුත් උපාංග මෙන්ම සැකසූ ආහාර හා පාන වර්ග යන අංශ අට කෙරෙහි අවධානය යොමු කරයි.
රාජ්‍ය, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාර්ශව 300කට අධික සංඛ්‍යාවකගේ පුළුල් දායකත්වයෙන් මෙම සැලැස්ම සකස් කර ඇති අතර, එය මෙරට තිරසර ආර්ථික වර්ධනය උදෙසා ප්‍රබල උත්ප්‍රේරකයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















