දිගු කලක් පුරප්පාඩු පැවති කොළඹ, මහනුවර සහ ගාල්ල ජාතික රෝහල්වල අධ්‍යක්ෂ තනතුරු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු නවයක් සඳහා නව නිලධාරීන් පත් කර තිබේ. මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, වසර 7-8ක් වැනි දීර්ඝ කාලයක් මෙම තනතුරු පුරප්පාඩුව පැවතීම හේතුවෙන් සෞඛ්‍ය ආයතනවල පරිපාලන සහ කළමනාකරණ කටයුතු දැඩි අභියෝගයකට ලක්ව තිබුණි. පසුගිය මැයි මාසයේ පැවති සම්මුඛ පරීක්ෂණවල ප්‍රතිඵල මත මෙම පත්වීම් සිදු කර ඇති අතර, හෙට (12) සිට එම නිලධාරීන් සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ඇත.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, පසුගිය වසර එකහමාරක කාලය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය යළි නඟා සිටුවීමට සැකසූ පදනම මත ඉදිරි කටයුතු ගොඩනැගීමේ වගකීම මෙම නව නිලධාරීන්ට පැවරෙන බවයි. රාජකාරී ඉටු කිරීමේදී කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම රජය විසින් නිර්මාණය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සභාව අමතමින් පැවසුවේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොඳුනාරටිය බඳු බවත්, ජනතාව වෙනුවෙන් උපරිම සේවාවක් ඉටු කිරීමට වගබලා ගත යුතු බවත්ය.
පත්වීම් ලද නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්:
පළමු පත්වීම ලෙස විශේෂඥ වෛද්‍ය එම්.කේ.එස්. ඉන්දික කුමාර මහතා ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇත. අනෙකුත් නිලධාරීන්ගේ නම් සහ තනතුරු ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
















