මාවනැල්ල ප්‍රදේශයේදී බස් රථයකට යටවී යතුරුපැදියක් ඇදගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය විසින් තරුණයින් දෙදෙනෙකු (වයස අවුරුදු 20 සහ 25) අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය බදාදා (10) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි.
සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන ව්‍යාප්ත වූ අතර, එහිදී බස් රථයක් යතුරුපැදියක් මතින් ගමන් කරන අයුරු මුලින්ම දැකගත හැකි විය. කෙසේ වෙතත්, පොලිස් පරීක්ෂණවලදී හෙළි වූයේ සිද්ධියේ සැබෑ ස්වරූපය මීට වඩා වෙනස් බවයි.
බස් රථ රියදුරු සමඟ ඇතිවූ ආරවුලකින් පසු යතුරුපැදිකරු සහ පිටුපස සිටි පුද්ගලයා බස් රථය පසුපස හඹා ගොස් හෙනවල රෝහල අසලදී බස් රථය හරස් කර නතර කර ඇත. අනතුරුව එම තරුණයින් දෙදෙනා බස් රථයට ගොඩවී රියදුරුට පහර දී තිබේ. රියදුරු භීතියට පත්ව බස් රථය ඉදිරියට ගැනීමට උත්සාහ කිරීමේදී බස් රථයට යටවී යතුරුපැදිය ඇදගෙන ගොස් ඇත. එම අවස්ථාවේදී බස් රථයේ මගීන් 60 දෙනෙකු පමණ සිට ඇත.
පහරකෑමට ලක්වූ රියදුරුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. අත්අඩංගුවට ගත් අඹේපුස්ස සහ මහවෙල පදිංචි සැකකරුවන් මහනුවර ජාතික රෝහල වෙත යොමු කර මත්ද්‍රව්‍ය පරීක්ෂණ සිදුකළ අතර, ඔවුන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















