ඉරාන-ඇමරිකා-ඊශ්‍රායල ගැටුම් හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති ඩුබායි සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීම සඳහා මගීන්ට විශේෂ රක්ෂණ සහතිකයක් හඳුන්වා දීමට එමිර්ේට්ස් ගුවන් සේවය සූදානම් වේ. ‘ඩේලි මේල්’ වාර්තා කරන පරිදි, කලාපීය උණුසුම මධ්‍යයේ මගීන් අතර ඇති වී තිබෙන අවිනිශ්චිත භාවය දුරු කිරීම මෙම පියවරේ අරමුණයි.
ගුවන් සේවයේ සභාපති ටිම් ක්ලාක් මහතා පවසන්නේ, අර්බුදකාරී තත්ත්වයක් තුළ මගියෙකුට ඕනෑම අවස්ථාවක තම මව් රට වෙත ආරක්ෂිතව යාමට අවශ්‍ය පහසුකම් මෙම රක්ෂණාවරණය යටතේ සහතික කෙරෙන බවයි. අවශ්‍ය වුවහොත් වෙනත් ගුවන් සේවා හරහා වුවද මගීන් ආපසු ගෙන්වා ගැනීමට අදාළ ගිවිසුම් සකස් කෙරේ. මෙවැනි රක්ෂණාවරණයක් සාධාරණ මිලකට ගුවන් ප්‍රවේශපත් සඳහා අමතර සේවාවක් ලෙස ලබා දීමට එමිර්ේට්ස් මේ වන විට රක්ෂණ සමාගම් සමඟ සාකච්ඡා පවත්වයි.
සංචාරක ක්ෂේත්‍රයට එල්ල වූ බලපෑම හේතුවෙන් වසර තුළ සංචාරකයින් මිලියන 20කගේ පැමිණීමක් බලාපොරොත්තු වූ ඩුබායි වෙත හෝටල් වසා දැමීම සහ ව්‍යාපාර ඇනහිටීම නිසා දිනකට පවුම් මිලියන 450ක පමණ පාඩුවක් සිදු වේ. ගෝලීය වශයෙන් ගුවන් ගමන් පිළිබඳ අවදානම් නිවේදන පවතින නමුත්, ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා තවමත් දිනකට මගීන් 40,000ක් පමණ සංක්‍රමණය වේ. මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් ගත් කල, යුද්ධයට පෙර පැවති ජාලයෙන් 80%ක් පමණ යළි යථා තත්ත්වයට පත් කිරීමට එමිර්ේට්ස් සමත් වී තිබේ. මාර්තු මාසයෙන් අවසන් වූ වසර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 6.3ක ලාභයක් වාර්තා කිරීමට ගුවන් සේවය සමත් වූ අතර, යුද්ධය නොතිබුනේ නම් එම ලාභය ඩොලර් බිලියන 7ක් වීමට ඉඩ තිබුණි.
ටිම් ක්ලාක් වැඩිදුරටත් සඳහන් කළේ, මගී සංඛ්‍යාව අපේක්ෂා කළාට වඩා වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි. ඉන්ධන මිල දෙගුණ වුවද, තම සමාගම අර්බුදයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බවත්, Airbus A380 ගුවන් යානා දිගටම මෙහෙයුම් සඳහා යොදා ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.
















