අද (11) නිල වශයෙන් ආරම්භ වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය (FIFA World Cup 2026) සඳහා ආරක්ෂාව සැපයීම අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සිය ඉතිහාසය තුළ මුහුණ දෙන දැවැන්තම ආරක්ෂක අභියෝගය බව එහි අධ්යක්ෂ කාෂ් පටෙල් (Kash Patel) ප්‍රකාශ කරයි. කණ්ඩායම් 48ක්, පුහුණු කඳවුරු 36ක් සහ ක්‍රීඩාංගණ 11ක් ආවරණය වන පරිදි පැවැත්වෙන මෙම තරගාවලිය නැරඹීමට රාජ්‍ය නායකයින් ඇතුළු මිලියන 3කට අධික නරඹන්නන් පිරිසක් පැමිණීමට නියමිතය.
රොයිටර්ස් (Reuters) පුවත් සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පටෙල් සඳහන් කළේ, ඩ්‍රෝන ප්‍රහාර, ත්‍රස්තවාදී තර්ජන, සයිබර් ප්‍රහාර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ප්‍රචණ්ඩකාරී රසිකයින්ගෙන් එල්ල විය හැකි තර්ජන කළමනාකරණය කිරීම සඳහා අමෙරිකානු ස්වදේශික ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS), ප්‍රාදේශීය පොලිසිය සහ විදේශීය ආරක්ෂක අංශ සමඟ එක්ව පුළුල් ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි. 2025 පෙබරවාරි මාසයේදී එෆ්.බී.අයි. අධ්යක්ෂ ධුරයට පත් වූ 46 හැවිරිදි කාෂ් පටෙල්, මෑතකදී තමන්ව ධුරයෙන් ඉවත් කිරීමට යන බවට පැතිර යන දේශපාලන කටකතා මධ්‍යයේ මෙම දැවැන්ත ආරක්ෂක සැලසුම් මෙහෙයවමින් සිටී.
















