පවත්නා සීමිත කාල රාමුව තුළ සමස්ත විෂය නිර්දේශයන් කිසිසේත්ම ආවරණය කිරීමට නොහැකි වී ඇති බව පෙන්වා දෙමින්, එළඹෙන අගෝස්තු 10 වන දින පැවැත්වීමට නියමිත 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය අවම වශයෙන් තවත් මාස දෙකක කාලයකින්වත් කල් දමන ලෙස ඉල්ලමින් විභාග අපේක්ෂක සිසුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව වෙත සිය දැඩි විරෝධය සහ බලපෑම තවදුරටත් එල්ල කර සිටිති.
විභාගයට මුහුණ දීමට සූදානම් වන සිසුන් අවධාරණය කරන්නේ, සාමාන්‍යයෙන් උසස් පෙළ විෂය නිර්දේශයක් සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් අධ්‍යයන කාල පරිච්ඡේදයක් හිමිවිය යුතු වුව ද, මෙවර 2026 ස්ථාවර කාලසටහන (Fixed Schedule) යටතේ තමන්ට ලැබී ඇත්තේ මාස 21ක් වැනි ඉතාමත් අසාධාරණ සහ අවම කාල සීමාවක් පමණක් බවයි. පෙර පැවති උසස් පෙළ කණ්ඩායම් සඳහා මාස 27 සිට 31 දක්වා දීර්ඝ කාලයක් අධ්‍යයන කටයුතු වෙනුවෙන් හිමිව තිබූ පසුබිමක, මෙවර කණ්ඩායමට මාස 21ක් වැනි කෙටි කාලයකින් සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරමින් සමස්ත ලංකා මට්ටමේ තරඟකාරී විභාගයකට මුහුණ දීමට සිදුවීම අතිශය දුෂ්කර හා අසාධාරණ තත්ත්වයක් බව සිසුහු පෙන්වා දෙති.
විශේෂයෙන්ම, පාසල් වාර සටහන් වරින් වර වෙනස් වීම, විවිධ නිවාඩු දින, අයහපත් කාලගුණික බලපෑම් සහ පසුගිය 2025 විභාග ප්‍රතිඵල මාර්තු 31 වන දින නිකුත් වීම හේතුවෙන් නැවත විභාගය ලියන සිසුන්ට මාස හතරකට ආසන්න කාලයක් පමණක් ඉතිරි වීම ආදී කරුණු රැසක් මත විෂය කරුණු නිසි පරිදි ධාරණය කරගැනීමට හෝ පුනරීක්ෂණ (Revision) කටයුතු සිදු කිරීමට මෙතෙක් කිසිදු ඉඩකඩක් ලැබී නොමැති බව සිසුන් පවසති. තමන් කිසිදු දේශපාලන හෝ අනිසි වාසියක් බලාපොරොත්තු නොවන බවත්, දරුවන්ගේ අනාගතය සහ මානසික සෞඛ්‍යය දෙස සානුකම්පිතව බලා විභාගය මාස දෙකකින්වත් කල් දමා තමන්ට සාධාරණය ඉටුකර දෙන ලෙසත් සිසුන් සහ දෙමාපියන් අධ්‍යාපන බලධාරීන්ගෙන් හදිසියේ ඉල්ලා සිටිති.
















