‘දිට්වා’ (Ditwa) සුළිකුණාටුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් ක්‍රියාත්මක කරන ලද මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (Humanitarian Priorities Plan – HPP) සාර්ථකව නිම කිරීමේ නිල සමාප්ති උත්සවය අද (11) පෙරවරුවේ කොළඹදී පැවැත්විණි. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය කර තිබුණි.
මෙම මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම යටතේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර 9ක් ඔස්සේ ලක්ෂ 6.5කට අධික ඉලක්කගත ජනගහනයෙන් 87%කට, එනම් පුද්ගලයින් 575,000කට සෘජුවම සහන සැලසීමට හැකි වී තිබේ. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 35.4ක අරමුදලක් අපේක්ෂා කළ අතර, ඉන් 75%ක සහනාධාර මෙරට විපතට පත්වූවන් වෙනුවෙන් ලබා දී ඇත. ඒ යටතේ විපතට පත් එක් පවුලක් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා රුපියල් 27,000ක මුදල් දීමනාවක් සහ තාවකාලික නිවාස ඉදිකිරීම් ඇතුළු සහන සේවා රැසක් ක්‍රියාත්මක කෙරිණි.
ශ්‍රී ලංකාවේ ශක්තිමත් ජාතික නායකත්වය සහ සඵලදායී හවුල්කාරිත්වය හේතුවෙන් අර්බුදකාරී අවස්ථාවකදී ජනතාවට සහන සැලසීමට හැකි වූ බව මෙහිදී රාජ්‍ය නිලධාරීන් මෙන්ම එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ද ඇගයීමට ලක් කළහ. මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ (ආපදා කළමනාකරණ) අතිරේක ලේකම් කේ. ජී. ධර්මතිලක මහතා ඇතුළු විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ ජාත්‍යන්තර සහන සංවිධානවල නියෝජිතයන් පිරිසක් සහභාගි වී සිටියහ.
















