කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදු කළ වකුගඩු ශල්‍යකර්මයකින් පසු තෙහැවිරිදි අම්දි ෆස්ලිම් නමැති පිරිමි දරුවා මිය යාමේ සිද්ධියට අදාළ විමර්ශන වාර්තා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා හමුවේ ප්‍රකාශ කළේය. කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ නඩුව ලබන ඔක්තෝබර් 23 වැනිදා නැවත කැඳවීමට නියෝග කළේය.
අදාළ සැත්කම සිදු කළ සහ දැනට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා ස්කයිප් (Skype) තාක්ෂණය ඔස්සේ ලබා දුන් ප්‍රකාශයට අදාළ සාක්ෂි සටහන් සහ වාර්තා අධිකරණය වෙත ලැබී තිබේ. එම සාක්ෂි ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය හරහා තහවුරු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර CID යට නියෝග කර තිබුණි. කොටහේන ප්‍රදේශයේ පදිංචි දරුවාගේ මව්පියන් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වන අතර, දරුවාගේ වම් වකුගඩුවේ රෝගී තත්ත්වයට සැත්කම කිරීමේදී සාමාන්‍ය තත්ත්වයේ තිබූ දකුණු වකුගඩුවට ද හානි වීමෙන් මෙම මරණය සිදු වූ බවට චෝදනා එල්ල වී ඇත.
















