මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම, ඵලදායී සහ විනිවිදභාවයෙන් යුතු ගුණාත්මක සේවාවක් සැපයීමේ අරමුණින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) නිලධාරීන් සඳහා වන ජාතික ඵලදායිතා හා ඩිජිටල්කරණ ඩිප්ලෝමා පාඨමාලාවක් පසුගියදා (09) බත්තරමුල්ල ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරිණි. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන හඳුන්වා දී තිබේ.
මෙහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, මෙරටට ප්‍රධාන වශයෙන් විදේශ විනිමය රැගෙන එන විගමනික ශ්‍රමිකයන්ගේ සුබසාධනය හා නියාමනය වෙනුවෙන් කාර්යාංශයේ සේවාවන් තවදුරටත් ප්‍රශස්ත කිරීමට පියවර ගන්නා බවයි. එමෙන්ම රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව දූෂණය හා අක්‍රමිකතා අවම කරමින්, ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නිලධාරීන් ඩිජිටල් දැනුමෙන් සන්නද්ධ කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ද ඔහු අවධාරණය කළේය.
මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු අදියර සඳහා කාර්යාංශයේ නිලධාරීන් 100 දෙනෙකු තෝරාගෙන ඇති අතර, එමඟින් සේවකයින් ඩිජිටල් පරිවර්තනයට අනුගත කිරීම අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාවට ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිරංජ එස්. ජයකොඩි, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජේ.ඒ.ඩී.පී. මංජුල යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
















