දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 72ක් ආවරණය කරමින් පසුගිය ජූනි 08 වැනිදා සිට 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වූ තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනේදී පරීක්ෂාවට ලක්කළ පරිශ්‍ර 97,871ක් අතරින් පරිශ්‍ර 6,268ක (6.4%) ඩෙංගු මදුරු කීටයන් හඳුනාගෙන තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය අද (11) නිකුත් කළ වාර්තාවට අනුව, පරීක්ෂා කරන ලද සමස්ත පරිශ්‍රවලින් 25,626ක්ම (26.2%) ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අධි අවදානම් ස්ථාන ලෙස හඳුනාගෙන ඇත.
මෙම වාර්තාවට අනුව වැඩිම මදුරු කීට ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ කර්මාන්තශාලා (32.9%) සහ ඉදිකිරීම් බිම් (21.8%) ආශ්‍රිතවය. මේ අතර පරීක්ෂාවට ලක්කළ නිවාස 89,417න් නිවාස 5,250ක මදුරු කීටයන් සිටින බව තහවුරු වී තිබේ. මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව නීතිමය උපදෙස් ඇතුළත් රතු නිවේදන 3,348ක් නිකුත් කර ඇති අතර, සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කළ පරිශ්‍ර හිමියන් 2,401 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද කටයුතු කර ඇත. ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් එක්ව සිදුකළ මෙම මෙහෙයුමෙන් පසු, තම නිවෙස් සහ අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වගබලාගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.
















