ලොව පුරා බිලියන 6කට අධික ක්‍රීඩාලෝලීන් පිරිසක් නොඉවසිල්ලෙන් බලා සිටින FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (12) අලුයම නිල වශයෙන් ආරම්භ වේ. වසර 96ක ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට කණ්ඩායම් 48කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය, රටවල් 3ක (මෙක්සිකෝව, කැනඩාව සහ අමෙරිකාව) සත්කාරකත්වයෙන් පැවැත්වෙන පළමු ලෝක කුසලානය ද වෙයි. මෙවර තරගාවලියේ සුවිශේෂීම අංගය වන්නේ සත්කාරක රටවල් ත්‍රිත්වයම කේන්ද්‍ර කරගනිමින්, ඒ ඒ රටවල පැවැත්වෙන පළමු තරගයට මිනිත්තු 90කට පෙර අති උත්කර්ෂවත් සමාරම්භක උත්සව 3ක් සංවිධානය කර තිබීමයි.
ඒ අනුව සුප්‍රකට ‘Estadio Azteca’ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙක්සිකෝ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් අද (11) රාත්‍රී 11.30ට ආරම්භ වන අතර එහිදී ලෝක ප්‍රකට ගායන ශිල්පිනී ශකීරා සහ බර්නා බෝයි විසින් මෙවර නිල තේමා ගීතය වන ‘ඩායි ඩායි’ ගීතය ප්‍රථම වරට සජීවීව ගායනා කිරීමට නියමිතය. කැනඩා සමාරම්භක උත්සවය ටොරොන්ටෝහිදී මෙරට වෙලාවෙන් හෙට (12) රාත්‍රී 11.00ට පැවැත්වීමට නියමිත අතර, අමෙරිකානු සමාරම්භක උත්සවය ලොස් ඇන්ජලීස්හිදී මෙරට වේලාවෙන් අනිද්දා (13) අලුයම 5.30ට ලෝක ප්‍රකට තරු රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
තරගාවලියේ පළමු සමාරම්භක තරගය හෙට (12) අලුයම 12.30ට මෙක්සිකෝ සිටි හිදී සත්කාරක මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතව තිබේ.
















