චීනයට එරෙහිව දිගින් දිගටම වැරදි සහගත ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් පිලිපීන ආරක්ෂක ලේකම් ගිල්බර්ටෝ ටියොඩෝරෝ (Gilberto Teodoro) සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව සම්බාධක පැනවීමට පියවර ගත් බව චීන විදේශ අමාත්‍යාංශය අද (11) නිවේදනය කළේය. ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශ මඟින් චීනයේ නීත්‍යානුකූල අවශ්‍යතාවලට මෙන්ම දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවලට හානි සිදුව ඇති බව චීනය පවසයි.
ඒ අනුව, ගිල්බර්ටෝ ටියොඩෝරෝ, ඔහුගේ බිරිඳ සහ දරුවන්ට චීන ප්‍රධාන භූමියට, හොංකොං සහ මැකාවු රාජ්‍යයන් වෙත ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. එමෙන්ම චීනය තුළ ක්‍රියාත්මක වන කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට ආරක්ෂක ලේකම්වරයා හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ කිසිදු ආකාරයක ගනුදෙනුවක්, සහයෝගීතාවක් හෝ වෙනත් ක්‍රියාකාරකම්වල නිරත වීම ද මෙම සම්බාධක යටතේ සපුරා තහනම් කර ඇත.
















