පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කන්කසන්තුරය සහ මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු නැවත දැනුම් දෙන තුරු තවදුරටත් අත්හිටුවන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් දැඩිව ඉල්ලා සිටියි.
ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා අද (11) ප්‍රකාශ කළේ, අදාළ මුහුදු කලාපවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉතා ඉහළ මට්ටමක පැවතිය හැකි බැවින් මුහුද අතිශය රළු විය හැකි බවයි. මේ හේතුවෙන් කුඩා ධීවර යාත්‍රාවලට මුහුදු යාම කිසිසේත්ම යෝග්‍ය නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
එසේම කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින්, එම කලාපවල ධීවර කටයුතුවල නිරත වීමේදී අතිශය සුපරීක්ෂාකාරී වන ලෙස ද දැනුම් දෙයි. තවද, දිවයින වටා ඕනෑම මුහුදු ප්‍රදේශයක ධීවර කටයුතුවල නිරත වන සෑම ධීවරයෙකුම ගමන් වාරය පුරාවටම ජීවිතාරක්ෂක කබා (Life Jackets) පැළඳ සිටීම අනිවාර්ය බව ද ධීවර දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
















