රුපියල් බිලියන 400කට අධික මූල්‍ය ශක්තියකින් යුත් සමෘද්ධි බැංකු පද්ධතිය සම්පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කරමින්, තනි ප්‍රධාන බැංකු පද්ධතියක් යටතට පත්කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බව සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ සභාපති සෝමසිරි ලියනගේ මහතා හෙළි කරයි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා විසින් මේ සඳහා විශේෂඥ කණ්ඩායමක් පත් කර අවශ්‍ය පියවර සොයා බැලීම ආරම්භ කර ඇත. දැනට රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 341ක් තුළ තනි තනිව ක්‍රියාත්මක ප්‍රජා මූලික බැංකුවල කටයුතු වඩාත් විධිමත් කර, මූල්‍ය විශ්වසනීයත්වය තහවුරු කිරීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.
පසුගිය කාලයේ දේශපාලන වුවමනාවන් මත මැතිවරණ සමයන්හිදී මෙම බැංකුවල අරමුදල් අවභාවිත කිරීම නිසා විවිධ මූල්‍ය අක්‍රමිකතා සිදු වූ බව පෙන්වා දෙන සභාපතිවරයා, දැනට සේවයේ නියුතු 23,000ක පමණ සේවක මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය සහතික කරමින් මෙම ප්‍රතිසංස්කරණ කරන්නේ නම් ඊට උපරිම සහාය දෙන බව ප්‍රකාශ කළේය. කෙසේ වුවද, සමෘද්ධි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරන්නේ මෙමඟින් බැංකු පද්ධතිය විකිණීමට රජය සූදානම් වන බවත්, එමඟින් තමන්ගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බවත්ය.
වෘත්තීය සමිති නඟන චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අවධාරණය කළේ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විකිණීමට හෝ කොටස් කිරීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බවයි. සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ 29 වැනි ජාතික සම්මේලනයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර, දීර්ඝ කාලයක සිට ප්රමුඛ අවශ්‍යතාවක්ව පවතින සමෘද්ධි සේවක උසස්වීම් පටිපාටිය ද මේ වසර තුළම අවසන් කරන බවට සහතික විය. මෙම අවස්ථාවට සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා ද එක්ව සිටියේය.
















