අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය හෙවත් පෙන්ටගන ගොඩනැගිල්ල තුළ හටගත් “අන්තරායකර ද්‍රව්‍ය සබැඳි සිදුවීමක්” හේතුවෙන් එහි මහල් සහ කොරිඩෝ කිහිපයක් වහාම වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරක් සිදුවීමේ අවදානම සලකා එහි රැඳී සිටි ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිස් ආරක්ෂිතව ඉවත් කිරීමට ද බලධාරීන් කටයුතු කර තිබේ.
මෙම හදිසි තත්ත්වය පිළිබඳව නිල ප්‍රකාශයක් කරමින් පෙන්ටගන ප්‍රකාශකයා තහවුරු කර ඇත්තේ, ගොඩනැගිල්ල තුළ සවිකර ඇති ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධති මඟින් වාතයේ ගුණාත්මකභාවයේ බරපතල වෙනසක් හඳුනාගෙන ඇති බවයි. කිසියම් විෂ හෝ අන්තරායකර වායුවක් කාන්දු වී ඇත්දැයි සැකයක් මතුව ඇත.
“මෙම තත්ත්වය කුමන මට්ටමක පවතින්නක්දැයි නිශ්චිතවම හඳුනා ගන්නා තෙක්, පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස මෙම දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා” යනුවෙන් පෙන්ටගන ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. මේ වන විට විශේෂඥ කණ්ඩායම් ගොඩනැගිල්ල තුළ ඇති වායු ස්ථර පරීක්ෂා කරමින් පවතින අතර, ආරක්ෂක පියවර තවදුරටත් දැඩි කර ඇත.















