අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විවිධ ආබාධ සහිත පුද්ගලයින් රැඳී සිටි ‘සෙනෙහසේ කැදැල්ල’ රැඳවුම් මධ්‍යස්ථානයේ සිදු වූ ගින්නෙන් 14 දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් 09 දෙනෙකුගේම සිරුරු භාර ගැනීම සඳහා මෙතෙක් කිසිදු ඥාතියෙකු ඉදිරිපත් වී නොමැති බව හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය ඉදිරියේ අද (11) අනාවරණය විය. අනෙක් මියගිය 05 දෙනාගේ ඥාතීන් සිරුරු භාරගැනීමට ඉදිරිපත් වී තිබේ.
අනාරක්ෂිත ලෙස මෙම රැඳවුම් නිවාසය පවත්වාගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි, ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍යයේ ‘ලොකු අයියා’ නමින් පෙනී සිටින 38 හැවිරිදි ඉසුරු අනුෂ්ක නමැති සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මීට අමතරව සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද පියවර ගැණුනු අතර ඔහුව Skype තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ගින්න හටගන්නා අවස්ථාවේදී රැඳවුම් නිවාසයේ දොර ජනෙල් ඉබි යතුරු යොදා වසා තිබූ බැවින් රැඳවියන් බේරා ගැනීමට දැඩි අපහසුතාවක් මතු වූ බව අඟුරුවාතොට පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. එමෙන්ම සැකකරු විසින් මෙම මහා විපත පිළිබඳව පොලිසිය හෝ ගිනි නිවන ඒකකය දැනුවත් කිරීමට කටයුතු නොකර, ගින්න වීඩියෝ කර තමන්ගේ TikTok ගිණුමට මුදාහැරීමට කටයුතු කර ඇති බව ද පොලිසිය අනාවරණය කළේය.
මෙම අවාසනාවන්ත ගින්නෙන් 14 දෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, රැඳවියන් 51 දෙනෙකු බේරා ගැනීමට හැකි වී තිබේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සමාජ සේවා සංවිධාන ගණනාවක ලිපි ශීර්ෂ යටතේ මෙම ආයතනය වෙත රැඳවියන් ඇතුළත් කර ඇති බව ද මෙහිදී හෙළි විය. අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරන අතර නඩුව ලබන ජූනි මස 25 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
















