සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රීලංකන් ගුවන් සේවය (SriLankan Airways) එරට ප්‍රමුඛතම ගුවන් සේවා වන ‘සවුදියා’ (Saudia) සහ ‘ෆ්ලයිනාස්’ (Flynas) සමඟ නව උපායමාර්ගික හවුල්කාරිත්වයක් (Codeshare Partnership) ඇති කරගෙන තිබේ. මෙම නව සහයෝගීතාවය තුළින් ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය මගීන්ට මැදපෙරදිග, අප්‍රිකාව සහ උතුරු ඇමරිකාව ඇතුළු ලොව පුරා ජාත්‍යන්තර ගමනාන්ත රැසක් වෙත ඉතා පහසුවෙන් සහ බාධාවකින් තොරව ගමන් කිරීමට සුවිශේෂී අවස්ථාවක් උදාවේ.
මෙම ඓතිහාසික හවුල්කාරිත්වය යටතේ සවුදියා ගුවන් සේවය මඟින් ජාත්‍යන්තර ගමනාන්ත 7ක් සහ සෞදියේ දේශීය ගමනාන්ත 13ක් සඳහා ප්‍රවේශය හිමි වේ. ඒ අනුව අම්මාන්, අබුඩාබි, බහරේන්, කයිරෝ, ඩුබායි, කුවේට් සිටි, ලොස් ඇන්ජලීස් වැනි ලෝක ප්‍රකට නගරවලට මෙන්ම සෞදියේ ජෙද්ද, අබහ්, මදීනා සහ ටබුක් වැනි දේශීය නගර වෙත පහසුවෙන් ළඟා විය හැක. එසේම ෆ්ලයිනාස් ගුවන් සේවය හරහා ජාත්‍යන්තර ගමනාන්ත 8ක් සහ සෞදි දේශීය ගමනාන්ත 6ක් විවෘත වන අතර, මේ යටතේ ඇඩිස් අබාබා, කරච්චි, ගීසා, ටෂ්කන්ට්, සොහාග් මෙන්ම ජිසාන්, නජ්රාන් සහ දම්මාම් වැනි නගර රැසකට සෘජු සබඳතා ගොඩනැඟේ.
මීට අමතරව, සෞදියේ රියාද් සහ දම්මාම් නගරවල සිට ශ්‍රීලංකන් ගුවන් සේවය මඟින් කොළඹ බලා ක්‍රියාත්මක වන දෛනික ගුවන් ගමන් සමඟ ඉතා සුමටව සම්බන්ධ වීමට (Seamless Connectivity) මගීන්ට මේ හරහා අවස්ථාව සැලසේ.
මෙම නව ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී (Chief Commercial Officer) දිමුත් තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, මෙම සබඳතාවය හරහා ලොව පුරා සිටින සංචාරකයින්ට මෙන්ම ව්‍යාපාරිකයින්ට වඩාත් සුවපහසු ලෙස ශ්‍රී ලංකාව වෙත පැමිණීමට මඟ පෑදෙන බවයි. දැනටමත් ක්‍රියාත්මක වන දෛනික ගුවන් ගමන් ද සමඟින්, දෙරට අතර සීඝ්රයෙන් වර්ධනය වන සංචාරක සහ වෙළඳ ක්ෂේත්රයේ ඉල්ලුම උපරිමයෙන් සපුරාලීමට මෙම හවුල්කාරිත්වය මහත් රුකුලක් වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















