විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද House Democracy Partnership (HDP) හි විශේෂ දූත පිරිසක් අතර නිල හමුවක් ඊයේ (10) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන මෙම දූත පිරිස මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලන නායකයින් හමුවීමේ පියවරක් ලෙස මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
මෙහිදී දෙපාර්ශ්වය අතර පාර්ලිමේන්තු සහයෝගිතාව, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන් සහ ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. එසේම ශ්‍රී ලංකාව මුහුණ දෙන සමකාලීන දේශපාලන හා ආර්ථික අභියෝග මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.
මෙම අවස්ථාවට ඇමෙරිකානු දූත පිරිස නියෝජනය කරමින් මේගන් මුවර් (HDP), මේගන් කැරොල්, ක්‍රිස්ටි හෝලි ඇන්තනි, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ භාරකාරී (Chargé d’Affaires) ජේන් හොවෙල්, දේශපාලන නිලධාරී ඇඩම් මිචෙලෝ ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
















