දිවයින වටා පවතින අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් නොවෙනස්ව පවතින බැවින්, නැවත දැනුම් දෙන තුරු කන්කසන්තුරය සහ මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවරයින්ගෙන් දැඩිව ඉල්ලා සිටියි.
ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පෙන්වා දෙන්නේ, පවතින මෝසම් තත්ත්වය හේතුවෙන් එම මුහුදු කලාපවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි අතර මුහුද අතිශය රළු විය හැකි බවයි. එමෙන්ම කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා වන සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින්, එම කලාපවල ධීවර කටයුතුවල නිරත වීමේදී අතිශය සුපරීක්ෂාකාරී වන ලෙස ද දැනුම් දෙයි.
මීට අමතරව, දැනට ධීවර කටයුතුවල නිරත වන සියලුම ධීවරයින් සඳහා ගොඩබිමෙන් පිටත්වීමේ සිට නැවත පැමිණෙන තෙක් සම්පූර්ණ ගමන් වාරය පුරාවටම ජීවිතාරක්ෂක කබා (Life Jackets) පැළඳ සිටීම අනිවාර්ය කර තිබේ. පවතින අවදානම් තත්ත්වය හමුවේ නිල කාලගුණ නිවේදන කෙරෙහි නිරන්තර අවධානය යොමු කරමින්, වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුව සමස්ත ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
















