2026 ෆිෆා (FIFA) ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මෙක්සිකෝව සහ දකුණු අප්රිකාව අතර පැවැති සමාරම්භක තරගය, දෙපිලේම ක්රීඩකයින් තිදෙනෙකුට රතු කාඩ්පත් හිමිවීමත් සමඟ අතිශය උණුසුම් මුහුණුවරක් ගත්තේය. ලෝක කුසලාන තරග ඉතිහාසයේ තරගයකදී රතු කාඩ්පත් තුනක් හෝ වැඩි ගණනක් ලැබුණු හත්වන අවස්ථාව මෙය වන අතර, සමාරම්භක තරගයකදී මෙවැනි තත්ත්වයක් වාර්තා වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්විය.
තරගයේ 49 වැනි මිනිත්තුවේදී මෙක්සිකෝ ක්රීඩක බ්රයන් ගුටරෙස්ට පිටුපසින් බාධා කිරීම හේතුවෙන් දකුණු අප්රිකාවේ සිතෝලේට (Sithole) පළමු රතු කාඩ්පත හිමි වූ අතර, පසුව අතිරේක ක්රීඩකයෙකු ලෙස පැමිණි දකුණු අප්රිකාවේ ස්වානේ (Zwane) ද රළු ලෙස අත භාවිත කිරීම නිසා රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් කෙරිණි. ඊට මිනිත්තු කිහිපයකට පසු, ප්රතිවාදීන්ගේ පැහැදිලි ගෝල අවස්ථාවක් වැළැක්වීම සහ රළු ලෙස හැසිරීම හේතුවෙන් මෙක්සිකෝ කණ්ඩායමේ නායක සේසර් මොන්ටෙස්ට ද (Cesar Montes) විනිසුරු විසින් රතු කාඩ්පතක් පෙන්වන ලදී.
කෙසේ වෙතත්, අවසානයේදී ක්රීඩකයින් 10 දෙනෙකු සමඟ ක්රීඩා කළ සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස දකුණු අප්රිකාව පරාජය කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලිය ජයග්රාහීව ආරම්භ කිරීමට සමත් විය.
















