දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ජුනි 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම තීරණය ගනු ලැබුවේ පසුගිය දිනවල පැවැත්වූ පරික්ෂාවන්හිදී හඳුනාගත් ඉහළ අවදානම් තත්ත්වය හේතුවෙනි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෑතකදී සිදු කළ විශේෂ පරීක්ෂාවකදී, සමස්ත පරිශ්‍ර 31,155ක් පරීක්ෂා කර ඇති අතර, ඉන් පරිශ්‍ර 1,864ක ඩෙංගු මදුරු කීටයන් බෝ වන බව තහවුරු වී ඇත. මෙම දත්තවලට අනුව කර්මාන්තශාලා, ඉදිකිරීම් බිම් සහ ආගමික ස්ථානවලින් 50%කට වැඩි ප්‍රමාණයක් මදුරුවන් බෝ විය හැකි අන්දමින් පවතින බව හඳුනාගෙන ඇත.
එමෙන්ම, පාසල්වලින් 44.7%ක සහ රජයේ ආයතනවලින් 40.4%ක ද ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පෙන්වා දෙයි. මෙම අවදානම් තත්ත්වය පාලනය කිරීම සඳහා පළාත් පාලන ආයතන මට්ටමින් මෙම විශේෂ සතිය තුළදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
සියලුම ආයතන සහ මහජනතාව තම පරිශ්‍රයන් ඩෙංගු මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.
















