විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර 04ක් සන්නාමකරණය (City Branding) කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව මහනුවර, කොළඹ, අනුරාධපුරය සහ කතරගම යන නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරන අතර, නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ අනුර මැදවල මහතා මේ බව තහවුරු කළේය. මහනුවර නගරය සන්නාමකරණය කිරීමේ මූලික සාකච්ඡාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
ලොව දියුණු රටවල අනුගමනය කරන පරිදි නගරයක පවතින සංස්කෘතිය, ඉතිහාසය, ආර්ථිකය, ආහාරපාන, සොබාදහම සහ සංචාරක කර්මාන්තය වැනි සුවිශේෂී අංග පදනම් කර ගනිමින් මෙම සන්නාමකරණය සිදු කෙරේ. අදාළ නගර 04 තුළ පවතින සුවිශේෂී ලක්ෂණ ලෝකයට හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය අතින් නව පිම්මක් පැනීමට අපේක්ෂා කෙරේ.
















