අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව දියත් කළ හමුදා මෙහෙයුම් යළිත් උත්සන්න වී තිබේ. අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත් කළ සටන් විරාමය නොතකා, යුද ගැටුම් 104 වැනි දිනයටත් දිග්ගැස්සෙමින් පවතින පසුබිමක, ඉරානය ඉලක්ක කර ගනිමින් අමෙරිකානු හමුදාව පිට පිට දෙවැනි දිනටත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.
ඉරානය පුරා පිහිටි හමුදා නිරීක්ෂණ පද්ධති, සන්නිවේදන ජාල සහ ගුවන් ආරක්ෂණ මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් පැය 4ක අඛණ්ඩ ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව අමෙරිකානු මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානය (CENTCOM) තහවුරු කරයි. හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී අමෙරිකාවට අයත් අපාචි ප්‍රහාරක හෙලිකොප්ටරයක් ඉරාන හමුදාව විසින් බිම හෙළීම මෙම ප්‍රහාරයට සෘජු හේතුව වී තිබේ.
අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කළේ, ඉරානයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ නියෝගයක් ලබා දී ඇති බවයි. ඉරාන රජය සාම ගිවිසුමකට පැමිණීමට දැක්වූ ප්‍රමාදය හමුවේ, ඉදිරියේදී තවදුරටත් හමුදා ක්‍රියාමාර්ග ගැනීමට සිදු වනු ඇති බව ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත.
මෙම යුද උත්සන්න වීමත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රෙන්ට් මිල දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 93.13ක් දක්වා ද, ටෙක්සාස් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.25ක් දක්වා ද ඉහළ ගොස් ඇත.
















