ද්විතීයික වෙළෙඳපොළට අදාළ වාර්තාකරණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ සිට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) වෙත පැවරීමත් සමඟ, එම දත්ත වාර්තා කිරීමේ සම්පූර්ණ වගකීම ඔවුන් සතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය අඟහරුවාදා (09) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) ප්‍රකාශ කළේය.
මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, මීට පෙර මහ බැංකුව විසින් ‘බ්ලූම්බර්ග්’ (Bloomberg) වේදිකාව හරහා තත්‍ය කාලීන ස්ථාවර ආදායම් දත්ත ලබාගෙන ප්‍රකාශයට පත් කළ බවත්, එම දත්ත ලබා ගැනීම සඳහා PDMO නිලධාරීන්ට ද අවශ්‍ය පුහුණුව ලබා දී ඇති බවත්ය. කෙසේ වෙතත්, මෑතකදී මෙම දත්ත ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රමාදයන් සිදුවී ඇති බව ඔහු පිළිගත්තේය.
කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ, මැයි 4 වැනිදායින් පසු PDMO වෙබ් අඩවියේ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු පිළිබඳ දත්ත ප්‍රකාශයට පත් කර නොමැති බවයි. මීට පෙර දිනපතා ප්‍රකාශයට පත් කළ වෙළෙඳපොළ ගනුදෙනු සාරාංශය (ISIN අංකය, පොලී අනුපාත, වෙළෙඳ පරිමාව ආදිය සහිත) වෙළෙඳපොළ සහභාගීවන්නන්ට අතිශය වැදගත් බවත්, මෙම දත්ත නොමැති වීම නිසා වෙළෙඳපොළ තුළ අනුමාන සහ අවිනිශ්චිතතාවන් නිර්මාණය වී ඇති බවත් ඔහු අවධාරණය කළේය.
මීට අමතරව, රජයේ සමස්ත ණය තත්ත්වය පිළිබඳ දත්තවල විනිවිදභාවය සහ සවිස්තරාත්මක බව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, මේ වන විට මූල්‍ය දත්ත ප්‍රකාශයට පත් කිරීමේ වගකීම සහ බලය පවතින්නේ PDMO සතු බවයි. මහ බැංකුවට ද දැන් මූල්‍ය දත්ත සඳහා විශේෂ ප්‍රවේශයක් නොමැති බවත්, එය PDMO විසින් නිකුත් කරන කාලසටහනකට අනුව සිදු වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මහ බැංකුවේ සහකාර අධිපති චාමින්ද බණ්ඩාර මහතා පැවසුවේ, දත්ත වාර්තා කිරීමේ බලතල බෙදී යාමෙන් පසු, රජය වෙනුවෙන් සුරැකුම්පත් නිකුත් කරන්නාගේ භූමිකාවෙන් මහ බැංකුව ඉවත් වී ඇති බවයි. මේ වන විට මහ බැංකුව ද වෙළෙඳපොළේ සාමාන්‍ය සහභාගීවන්නෙකු ලෙස කටයුතු කරන බැවින්, තනි පුද්ගල ගනුදෙනු පිළිබඳ තොරතුරු මහ බැංකුවට නොලැබෙන බව ඔහු සඳහන් කළේය.
















