සංවිධානාත්මක අපරාධ කල්ලි මේ වන විට බරපතළ ගිනි අවි හිඟයකට මුහුණ දී සිටින බවත්, එම හේතුවෙන් ඔවුන් දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවි වෙත යොමු වෙමින් පවතින බවත් නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා පවසයි.
ඊයේ (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, 2021 සහ 2024 අතර කාලසීමාව තුළ නීතිවිරෝධී ගිනි අවි 10,804ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංවිධානාත්මක අපරාධ ආශ්රිත ඝාතන සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩු වී ඇති අතර, 2026 වසරේ පළමු මාස හය තුළ වාර්තා වී ඇති එවැනි ඝාතන සංඛ්‍යාව 20කට වඩා අඩු අගයක් ගනී.
අපරාධ කල්ලි මුහුණ දී ඇති අවි ආයුධ හිඟය පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයා දැක්වූ කරුණු:
පසුගිය වසරවලදී ටී-56 (T-56) සහ ඒකේ-47 (AK-47) වැනි ප්‍රහාරක රයිෆල් සහ බ්‍රව්නිං පිස්තෝල වැනි අවි බහුලව භාවිත කළ ද, වර්තමානයේ නීතිවිරෝධී අවි සැපයුම් ජාල බිඳ වැටීම නිසා ඔවුන් අසීරුතාවට පත්ව සිටී. කොළඹදී සිදුවූ ඝාතනයකට යොදාගත් ටී-56 රයිෆලයක් මීට දින දෙකකට පෙර මාතර සිදුවූ ඝාතනයකට ද යොදාගෙන ඇති බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වී තිබේ. මෙය එම කල්ලි එකම අවියක් විවිධ ප්‍රදේශවල ඝාතන සඳහා නැවත නැවත භාවිත කරන බවට සාක්ෂියකි.
අපරාධ කල්ලි දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවි වෙත යොමු වීමේ ප්‍රවණතාවක් ද දැකගත හැකිය. මෑතකදී හමුදා විශේෂ බළකායන් විසින් භාවිත කරන ‘මිනි උසි’ (Mini Uzi) උප මැෂින් තුවක්කුවකට සමාන ගිනි අවියක් සහ දින හතරකට පෙර ‘ගල්කටස්’ වර්ගයේ ගිනි අවි 19ක් අත්අඩංගුවට ගැනීමට හැකිවීම මීට නිදසුන් වේ.
විදේශයන්හි සිට ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් 46 දෙනෙකුගෙන් 24 දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය සමත්ව ඇත. බන්ධනාගාර තුළ සංවිධානාත්මක අපරාධ නායකයන් සඳහා විශේෂ පහසුකම් සහිත ඒකකයක් ස්ථාපිත කර ඇති අතර, එහි රඳවා සිටින නායකයන් නව දෙනෙකුට බාහිර ලෝකය සමඟ හෝ එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට කිසිදු අවස්ථාවක් ලබා දී නොමැති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා තහවුරු කළේය.
















