සාමාන්‍යයෙන් වියළි කලාපයක් වන චීනයේ ෂින්ජියැන්ග් පළාතේ පිහිටි ටක්ලමකාන් කාන්තාරයට මේ වසරේ මුල්ම ගංවතුර තත්ත්වය ජූනි මස මුලදී වාර්තා වී ඇත. අසාමාන්‍ය ලෙස උෂ්ණත්වය ඉහළ යාම, අධික වර්ෂාපතනය සහ ග්ලැසියර වේගයෙන් දියවීම හේතුවෙන් ඉදිරි ගිම්හාන කාලය තුළ මෙම කලාපය තුළ “දරුණු ගංවතුර” (extreme floods) ඇතිවීමේ අවදානමක් පවතින බව චීන බලධාරීන් අනතුරු අඟවයි.
සාමාන්‍යයෙන් මෙවැනි ගංවතුර තත්ත්වයන් අගෝස්තු මාසයේදී වාර්තා වුවද, මෙවර ජූනි මස මුලදීම උෂ්ණත්වය ඉහළ යාම සහ ටියැන්ෂාන් සහ කුන්ලුන් කඳුවැටිවල හිම සහ ග්ලැසියර වේගයෙන් දියවීම හේතුවෙන් චීනයේ දිගම ගංගාව වන තාරිම් ගඟ පිටාර ගැලීම සිදුව ඇත. මෙම ජල ප්‍රවාහය පහත් බිම් සහ කාන්තාර ප්‍රදේශ කරා ගලා ඒම නිසා මාර්ග, දුම්රිය මාර්ග සහ තෙල් හා ගෑස් පහසුකම් වැනි යටිතල පහසුකම් විනාශ වීමේ බරපතළ අවදානමක් පවතින බව චීන කාලගුණ විද්‍යා පරිපාලනයේ විශ්ලේෂක සුන් කියන්කියන් පවසයි.
කාන්තාරයේ ඇති වන මෙම තාවකාලික ජල ගැලීම් මගින් දේශීය වනාන්තරවලට යම් ජල සම්පාදනයක් ලැබුණද, පවතින දැඩි වාෂ්පීකරණය හේතුවෙන් එම ජලය ඉක්මනින් වියළී යන බව විශේෂඥයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, මෙම ස්වාභාවික ආපදා තත්ත්වය හමුවේ පදිංචිකරුවන්ට සහ සංචාරකයන්ට නිල අනතුරු ඇඟවීම් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස බලධාරීන් වැඩිදුරටත් දැනුම් දී ඇත.
















