බාල වයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියකට චෝදනා ලබා සිටින හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට, ලබන ජූනි මස 16 වන දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් DNA පරීක්ෂණය සඳහා රුධිර සාම්පල ලබා දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අද (12) නියෝග කළේ ය.
නිට්ටඹුව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව, අපයෝජනයට ලක්වූ දැරිය විසින් වළ දමා සඟවා තිබියදී සොයාගත්, රුධිරය තැවරුණු බවට සැක කෙරෙන ඇඳුම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා මීට පෙර සිදුකළ DNA පරීක්ෂණයේදී එහි “DNA ඇලීල අන්තර්ගතව ඇති බව” තහවුරු වී තිබේ. ඒ අනුව, එම ඇඳුම්වල තිබූ DNA අදාළ සැකකාර හිමිනමගේ DNA සමඟ සැසඳේ ද යන්න තහවුරු කරගැනීම සඳහා මෙම රුධිර සාම්පල ලබා ගැනීමට නියෝග කෙරුණු අතර, එම DNA පරීක්ෂණ වාර්තාව වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද රස පරීක්ෂකවරයාට නියෝග කර ඇත.
මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබීමෙන් පසු පල්ලේගම හේමරතන හිමියන් මීට පෙර බන්ධනාගාරගතව සිට පසුව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරුණු අතර, උන්වහන්සේ දැරූ අටමස්ථානාධිපති තනතුර සහ නුවරකලාවිය ප්‍රධාන සංඝනායක පදවිය ද ඉකුත් වෙසක් පොහොය දිනයේදී අත්හිටුවීමට පියවර ගැනුණි.
















